Tuesday, August 25, 2020

පාට කරපු ගල් ගෙඩිය!

  

පාට කරපු ගල් ගෙඩිය! (මෙය සහතික පත් ලද ජයග්‍රාහී නිර්මාණයකි)





පුංචි සමනලී උදෙන්ම අවදි වෙනවා. දත් මැදලා මූණ සෝදලා ඈත අහසෙ දේදුනු නැන්දා ව හොයාගෙන යනවා.

"නැන්දේ මට පාට ටිකක් දෙනවද?" පුංචි සමනළී දේදුනු නැන්දගෙන් අහනවා

දේදුනු නැන්දා හිනා වෙලා පුංචි සමනළී ට ලස්සන පාට හතක් තෑගි කරනවා.

පුංචි සමනළී පාට තෑගිත් අරගෙන පියාඹලා ඇවිත් කැලෑ ගම පුරාම ලස්සන චිත්‍ර අඳිනවා.

කැලෑ ගමේ හැමෝම මේ චිත්‍ර දිහා බලලා ගොඩක් සතුටු වෙනවා.





















ඔන්න දවසක් දා සමනළී ඈත අහසෙ ඉඳන් පියාඹලා එද්දි ගං ඉවුර ලඟ ලොකුම ලොකු ගල් ගෙඩියක් තියෙනවා දැක්කා.

'මම මේ ගල් ගෙඩිය ලස්සනට පාට කරනවා' පුංචි සමනලී හිතුවා.

පාට බාල්දි බිමින් තියලා, පින්සල අතර ගත්ත පුංචි සමනළී ගල් ගෙඩියේ ලස්සන ලස්සන රටා අඳින්න පටන් ගත්තා

ටිකෙන් ටික ගල් ගෙඩිය ලස්සන උනා.. පුංචි සමනළී ට හරිම සතුටුයි.


පාට කරල ඉවර වුණ පුංචි සමනලී පින්සලයි පාට බාල්දි හෝදං එන්න ගං ඉවුර  ළඟට ගියා.

හරිම පුදුමයි!

පුංචි සමනළී ආයෙ එද්දී පාට කරපු ගල් ගෙඩිය එතන තිබුණෙ නැහැ

පුංචි සමනලී වටපිට බැලුවා ඒත් ගල් ගෙඩිය නම් පේන්න තිබුණෙ නැහැ. පුංචි සමනළී ට ගොඩක් දුක හිතුනා.

පුංචි සමනලී ගල් ගෙඩිය සොයමින් පියෑඹුවා. ඔහොම පියාඹගෙන යනකොට පුංචි සමනලී ට ගල් ගෙඩිය හමුවුණා.

මෙන්න ගල් ගෙඩිය ඇවිදිනවා!

පුංචි සමනළී ගල් ගෙඩිය ට කිට්ටු වෙලා බැලුවා.

පුංචි සමනළී ගල් ගෙඩියක් කියලා හිතලා පාට කරලා තිබුණේ ඉබි රාළ කෙනෙකුගේ කටුවක්!

පාට කරපු කටුව පිටේ තියාගෙන උජාරුවට යන ඉබිරාලව දැකපු පුංචි සමනලීට හිනා ගියා.


No comments:

Post a Comment

ගේ කුරුළු පැටව්!

  ගේ කුරුළු පැටව් (මෙම නිර්මාණය සහතික පත් ලද ජයග්‍රාහී නිර්මාණයකි)