වකුටු හොටා!
ගිරා පැංචි තවම පුංචි. පියාඹන්න ඉගෙනගෙනත් තවම වැඩි කාලයක් නැහැ. හැමදාම උදේම නැගිටලා, කැලෑ ගම පුරාම පියාඹලා, ගහකින වැලකින් ගෙඩියක් හොයාගෙන කන එක තමයි එයාගේ එකම සෙල්ලම.
ඔන්න එක දවසක් ගිරා පැංචි කැලෑගම උඩින් පියාඹගෙන ගියා. වටපිට බල බල සුළං පීරගෙන ඈත අහසෙ උඩින්ම පියඹගෙන ගියා. පුංචි පිහාටු අතරට හුළං පාර වදින කොට හරිම සනීපයි. ඔහොම පියාඹගෙන යනකොට ගඟ අයිනේ කුරුලු යාලුවො සෙල්ලම් කරනවා ගිරා පැංචි දැක්කා.
" මමත් සෙල්ලම් කරන්න එන්නද?" ගිරා පැංචි පියාඹගෙන ගං ඉවුර ළඟට ගියා.
"එන්න එන්න" කොක් හාමි කිව්වා.
" අපි බෝල ගහනවා" පිලිහුඩු නයිදේ කිව්වා.
"හරි මමත් ලෑස්ති" ගිරා පැංචි කිව්වා.
මොනර බබා බෝලෙ උඩ විසි කළා. පියාඹලා ආපු කවුඩු පැංචා බෝලය හොටින් ගත්තා. පියාඹන යන ගමන් කොක් හාමි ළඟට බෝලය අතඇරියා.
කොකා හාමි ත් නිකං උන්නේ නෑ. කොහොම හරි කැරකිලා ඇවිල්ලා බෝලය හොටින් අල්ලා ගත්තා.
ඊට පස්සේ කොක් හාමි බෝලෙ ගිරා පැංචිට විසිකරා.
අනේ ගිරා පැංචිගෙ අතින් බෝලය අත ඇරුනා
" හුරේ ලකුණු අපිට " අනෙක් අය කෑ ගැසුවා.
මොනර බබා ආයෙත් බෝලය උඩ විසිකෙරුවා. කහ කිරිල්ලී බෝලය අල්ලගත්තා. කහ කිරිල්ලී රවුමක් පියාඹලා ගිහින් ගිරා පැංචිට බෝලය විසි කෙරුවා.
අනේ! ආයෙමත් ගිරා පැංචිගෙ අතින් බෝලය අත ඇරුනා.
"අනේ ඒ ඇයි මට බෝලය අල්ලගන්න බැරි?" ගිරා පැංචි දුකින් ගලක් උඩ වාඩි වුනා. ඇස්වල කඳුළුත් පිරුණා.
"ගිරා පැංචි ගේ හොට වකුටුයි. ඒකයි එයාට බෝලය අල්ලගන්න බැරි. අපේ වගේ දිග හොටක් ගිරා පැංචිට නෑ" කොක් හාමි කිව්වා.
"හූ වකුටු හොටා හූ වකුටු හොටා" යාලුවො හිනා උනා.
ගිරා පැංචිට හොඳටෝම දුක හිතුනා. ගිරා පැංචි එතනින් පියඹලා ගියා.
අඬ අඬා අම්මව හෙව්වා. අම්මව හොයාගෙන විස්තරේ ඔක්කොම කිව්වා.
"අනිත් අයට වගේ දිග හොටක් නැති වුණාට පුතාට ලස්සන රතු පාට හොටක් තියෙන්නේ, මේ බෙල්ලෙ ලස්සන මාලෙකුත් තියෙන්නේ " ගියා අම්මා ගිරා පැංචි ව සැනසුවා.
"ඒත් මට හොටෙන් බෝල අල්ලන්ඩ බෑනේ." ගිරා පැංචි තවමත් අඬනවා.
"පුතාට බෝලය අල්ලන්න බැරි හොටෙන් නේ , ඒ උනාට පුතාට කකුලින් බෝලෙ අල්ලන්න පුුළුවන් නේ," ගිරා අම්මා කිව්වා.
"කකුලේ නියපොතු නිසා බෝලෙ රැඳිලා තියෙයි."
ගිරා පැංචි ගේ මූණේ ලස්සන හිනහවක් ඇඳුනා.
ඔන්න පහුවදාත් ගිරා පැංචි සෙල්ලම් කරන්න ගියා..
"ආ එන්න එන්න, වකුටු හොටා එන්න එන්න සෙල්ලම් කරන්න" යාලුවෝ කතා කළා.
අද නම් ගිරා පැංචි දක්ෂ විදිහට පන්දුව රැක ගත්තා. කාටත් කලින් කකුල් දෙකෙන්ම බෝලය අල්ලා ගත්තා. හරිම පුදුම යි!
අපේ වකුටු හොටා හරි හපනා නේ. සෙල්ලම් කරලා ගෙදර යද්දි යාලුවෝ හැමෝම ගිරා පැංචිට ප්‍රශංසා කළා.
No comments:
Post a Comment