Tuesday, August 25, 2020

වකුටු හොටා!

 වකුටු හොටා!

ගිරා පැංචි තවම පුංචි. පියාඹන්න ඉගෙනගෙනත් තවම වැඩි කාලයක් නැහැ. හැමදාම උදේම නැගිටලා, කැලෑ ගම පුරාම පියාඹලා, ගහකින වැලකින්  ගෙඩියක් හොයාගෙන කන එක තමයි එයාගේ එකම සෙල්ලම.

ඔන්න එක දවසක් ගිරා පැංචි කැලෑගම උඩින් පියාඹගෙන ගියා. වටපිට බල බල සුළං පීරගෙන ඈත අහසෙ උඩින්ම පියඹගෙන ගියා. පුංචි පිහාටු අතරට හුළං පාර වදින කොට හරිම සනීපයි. ඔහොම පියාඹගෙන යනකොට ගඟ අයිනේ කුරුලු යාලුවො සෙල්ලම් කරනවා ගිරා පැංචි දැක්කා.

 " මමත් සෙල්ලම් කරන්න එන්නද?" ගිරා පැංචි පියාඹගෙන ගං ඉවුර ළඟට ගියා.

"එන්න එන්න" කොක් හාමි කිව්වා.

" අපි බෝල ගහනවා" පිලිහුඩු නයිදේ කිව්වා.

"හරි මමත් ලෑස්ති" ගිරා පැංචි කිව්වා.

මොනර බබා බෝලෙ උඩ විසි කළා. පියාඹලා ආපු කවුඩු පැංචා බෝලය හොටින්  ගත්තා. පියාඹන යන ගමන් කොක් හාමි ළඟට බෝලය අතඇරියා.

කොකා හාමි ත් නිකං උන්නේ නෑ. කොහොම හරි කැරකිලා ඇවිල්ලා බෝලය හොටින් අල්ලා ගත්තා.

ඊට පස්සේ කොක් හාමි බෝලෙ ගිරා පැංචිට විසිකරා.

අනේ ගිරා පැංචිගෙ අතින් බෝලය අත ඇරුනා

" හුරේ ලකුණු අපිට " අනෙක් අය කෑ ගැසුවා.

මොනර බබා ආයෙත් බෝලය උඩ විසිකෙරුවා. කහ කිරිල්ලී බෝලය අල්ලගත්තා. කහ කිරිල්ලී  රවුමක් පියාඹලා ගිහින් ගිරා පැංචිට බෝලය විසි කෙරුවා.

අනේ! ආයෙමත් ගිරා පැංචිගෙ අතින් බෝලය අත ඇරුනා.

"අනේ ඒ ඇයි මට බෝලය අල්ලගන්න බැරි?" ගිරා පැංචි දුකින් ගලක් උඩ වාඩි වුනා. ඇස්වල කඳුළුත් පිරුණා.

"ගිරා පැංචි ගේ හොට වකුටුයි. ඒකයි එයාට බෝලය අල්ලගන්න බැරි. අපේ වගේ දිග හොටක් ගිරා පැංචිට නෑ" කොක් හාමි කිව්වා.

"හූ වකුටු  හොටා  හූ  වකුටු හොටා" යාලුවො හිනා උනා.

ගිරා පැංචිට හොඳටෝම දුක හිතුනා. ගිරා පැංචි එතනින් පියඹලා ගියා.

අඬ අඬා අම්මව හෙව්වා. අම්මව හොයාගෙන විස්තරේ ඔක්කොම කිව්වා.

"අනිත් අයට වගේ දිග හොටක් නැති වුණාට පුතාට ලස්සන රතු පාට  හොටක් තියෙන්නේ, මේ බෙල්ලෙ ලස්සන මාලෙකුත් තියෙන්නේ " ගියා අම්මා ගිරා පැංචි ව සැනසුවා.

"ඒත් මට හොටෙන් බෝල අල්ලන්ඩ බෑනේ." ගිරා පැංචි තවමත් අඬනවා.

"පුතාට බෝලය අල්ලන්න බැරි  හොටෙන් නේ , ඒ උනාට පුතාට කකුලින් බෝලෙ අල්ලන්න පුුළුවන් නේ," ගිරා අම්මා කිව්වා.

"කකුලේ නියපොතු නිසා බෝලෙ රැඳිලා තියෙයි."

ගිරා පැංචි ගේ මූණේ ලස්සන හිනහවක් ඇඳුනා.

 ඔන්න පහුවදාත් ගිරා පැංචි සෙල්ලම් කරන්න ගියා..

"ආ එන්න එන්න, වකුටු හොටා එන්න එන්න සෙල්ලම් කරන්න" යාලුවෝ කතා කළා.

අද නම් ගිරා පැංචි දක්ෂ විදිහට පන්දුව රැක ගත්තා. කාටත් කලින් කකුල් දෙකෙන්ම බෝලය අල්ලා ගත්තා. හරිම පුදුම යි!

අපේ වකුටු හොටා හරි හපනා නේ. සෙල්ලම් කරලා ගෙදර යද්දි යාලුවෝ හැමෝම ගිරා පැංචිට ප්‍රශංසා කළා.



සුදු කිටියා යි, ලේන් අප්පු යි.

 සුදු කිටියා යි, ලේන් අප්පු යි.



ඔන්න ඉස්සර සුදු කිටියා යි ලේන් අප්පු යි උන්නේ සිඟිති බබාලගෙ ගෙදර.

මේ දෙන්න හොදම යාලුවෝ. කෑවේ බිව්වේ, සෙල්ලම් කලේ, ගමන් ගියේ එකට.

දවසක්දා සුදු කිටියා ලේන් අප්පො ට කතා කළා.


"අපි දෙන්නා ටිකක් ඇවිදලා එමුද?" සුදු කිටියා ඇහුවා.

"හම් යමු" ලේන් අප්පු කිව්වා.

වෙල්යාය න් මැදින්, දොල පාරවල් පසුකරමින් රස කතා කියමින් දෙන්නා දිගටම ඇවිදගෙන ගියා.


ඔහොම යනකොට අතර මගදි හමුවෙන පුංචි කුරුමිණියන් පුංචි පුංචි මැස්සන් සුදු කිටියා ගේ ගොදුරු බවට පත් උනා.

අව්වත් තදින්ම පායලා දැන් දෙන්නටම හොඳටම මහන්සියි ලේන් අප්පු ට නම් බඩිගිනිත් දැනුනා.

"අපි ගෙදර යමුද?" ලේන් අප්පු ඇහුවා.

"යමු" සුදු කිටියා කිව්වා.

දෙන්නම ගෙදර යද්දි සිඟිති බබා කිරි හදලා තිබුණා. ලේන් අප්පු ඈත තියාම කිරි භාජනය දැක්කා.



බඩගිනි වෙලා හිටපු ලේන් අප්පු සුදු කිටියා වත් දාලා කිරි භාජනේ ළඟට දුවල ගියා.

සුදු කිටියා ව දාලා ගිය නිසා සුදු කිටියා ට හොඳටම කේන්ති ගියා.

"මම එනකල් ඉන්න" සුදු කිටියා කේන්තියෙන් කිව්වා.



බඩගිනි වෙලා හිටපු ලේන් අප්පු කිරි එක බීගෙන බීගෙන ගියා.

හොඳටම කේන්තියෙන් හිටපු සුදු කිටියා දත් විලිස්සගෙන නියපොතු දික් කරගෙන ලේන් අප්පු ලඟට කඩා පැන්නා.


ලේන් අප්පු හොඳටෝම බය වුණා. සුදු කිටියා ගෙ උල් නියපොතු වැදිලා ලේන් අප්පු ගේ පිට සීරිලා ගියා.

එදා ඉඳලා ලේන් අප්පුලා කිටියන්ට බයයි. කිටියෝ ලේන් අප්පුලා එක්ක හොඳටෝම තරහයි. සුදු කිටියා එදා සීරුව පාර ලේන් අප්පුලාගේ පිටේ තවමත් තියෙනවා.


කැන්ගරු පැටියා!

 කැංගරු පැටියා





 





(මෙම නිර්මාණය සහතික පත් ලද ජයග්‍රාහී නිර්මාණයකි)

පාට කරපු ගල් ගෙඩිය!

  

පාට කරපු ගල් ගෙඩිය! (මෙය සහතික පත් ලද ජයග්‍රාහී නිර්මාණයකි)





පුංචි සමනලී උදෙන්ම අවදි වෙනවා. දත් මැදලා මූණ සෝදලා ඈත අහසෙ දේදුනු නැන්දා ව හොයාගෙන යනවා.

"නැන්දේ මට පාට ටිකක් දෙනවද?" පුංචි සමනළී දේදුනු නැන්දගෙන් අහනවා

දේදුනු නැන්දා හිනා වෙලා පුංචි සමනළී ට ලස්සන පාට හතක් තෑගි කරනවා.

පුංචි සමනළී පාට තෑගිත් අරගෙන පියාඹලා ඇවිත් කැලෑ ගම පුරාම ලස්සන චිත්‍ර අඳිනවා.

කැලෑ ගමේ හැමෝම මේ චිත්‍ර දිහා බලලා ගොඩක් සතුටු වෙනවා.





















ඔන්න දවසක් දා සමනළී ඈත අහසෙ ඉඳන් පියාඹලා එද්දි ගං ඉවුර ලඟ ලොකුම ලොකු ගල් ගෙඩියක් තියෙනවා දැක්කා.

'මම මේ ගල් ගෙඩිය ලස්සනට පාට කරනවා' පුංචි සමනලී හිතුවා.

පාට බාල්දි බිමින් තියලා, පින්සල අතර ගත්ත පුංචි සමනළී ගල් ගෙඩියේ ලස්සන ලස්සන රටා අඳින්න පටන් ගත්තා

ටිකෙන් ටික ගල් ගෙඩිය ලස්සන උනා.. පුංචි සමනළී ට හරිම සතුටුයි.


පාට කරල ඉවර වුණ පුංචි සමනලී පින්සලයි පාට බාල්දි හෝදං එන්න ගං ඉවුර  ළඟට ගියා.

හරිම පුදුමයි!

පුංචි සමනළී ආයෙ එද්දී පාට කරපු ගල් ගෙඩිය එතන තිබුණෙ නැහැ

පුංචි සමනලී වටපිට බැලුවා ඒත් ගල් ගෙඩිය නම් පේන්න තිබුණෙ නැහැ. පුංචි සමනළී ට ගොඩක් දුක හිතුනා.

පුංචි සමනලී ගල් ගෙඩිය සොයමින් පියෑඹුවා. ඔහොම පියාඹගෙන යනකොට පුංචි සමනලී ට ගල් ගෙඩිය හමුවුණා.

මෙන්න ගල් ගෙඩිය ඇවිදිනවා!

පුංචි සමනළී ගල් ගෙඩිය ට කිට්ටු වෙලා බැලුවා.

පුංචි සමනළී ගල් ගෙඩියක් කියලා හිතලා පාට කරලා තිබුණේ ඉබි රාළ කෙනෙකුගේ කටුවක්!

පාට කරපු කටුව පිටේ තියාගෙන උජාරුවට යන ඉබිරාලව දැකපු පුංචි සමනලීට හිනා ගියා.


කතන්දර ගෙදර

 

ගේ කුරුළු පැටව්!

  ගේ කුරුළු පැටව් (මෙම නිර්මාණය සහතික පත් ලද ජයග්‍රාහී නිර්මාණයකි)